සිරියානු යුද්ධය



සිරි­යානු පඹ­ගාලේ පැටලුණු අමෙ­රි­කාව හා රුසි­යාව



ඊජිප්තුව නොමැතිව මැද පෙරදිග යුද්ධයක් ඇරැඹිය නොහැක්කා සේම සිරියාව නොමැතිව මැදපෙරදිග ස්ථිර සාමයක් උදාකළ නොහැකි බව හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයකු හා අන්තර්ජාතික සබදතා පිළිබද ජගත් විද්වතකුද වන හෙන්රි කිසිංජර් වරෙක පවසා තිබේ. මැදපෙරදිග හෙවත් අරාබි ලෝකයේ අද වනවිට සාමය යන්න සිහිනයක් වි ඇත්තේ මුලික වශයෙන්ම සිරියානු යුද්ධය මුල්කරගෙනයි. වසර 6 කදී හාරලක්ෂයකට අධික ජනතාව මියගිය මෑත කාලීන එකම යුද්ධය සිරියානු යුද්ධයයි.

ඊජිප්තුව නොමැතිව මැද පෙරදිග යුද්ධයක් ඇරැඹිය නොහැක්කා සේම සිරියාව නොමැතිව මැදපෙරදිග ස්ථිර සාමයක් උදාකළ නොහැකි බව හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයකු හා අන්තර්ජාතික සබදතා පිළිබද ජගත් විද්වතකුද වන හෙන්රි කිසිංජර් වරෙක පවසා තිබේ. මැදපෙරදිග හෙවත් අරාබි ලෝකයේ අද වනවිට සාමය යන්න සිහිනයක් වි ඇත්තේ මුලික වශයෙන්ම සිරියානු යුද්ධය මුල්කරගෙනයි. වසර 6 කදී හාරලක්ෂයකට අධික ජනතාව මියගිය මෑත කාලීන එකම යුද්ධය සිරියානු යුද්ධයයි.


සාමය සෙවීමේ දුෂ්කර වෑයමට රුසියාව අත තබා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ආශිර්වාදය ඇතිවය. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකාවේ භූමිකාව පිළිබදව එරට සන්ධානගත සාමාජික රටවලද සැකයක් මතුවෙමින් තිබෙන මොහොතකයි . රුසියාවේ මූලිකත්වයෙන් පැවැත්වෙත සාකච්ඡාවලට තුර්කිය හා ඉරානය සම අනුග්‍රාහකත්වය දක්වයි. සාම වැඩපිළිවෙල ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ලෝකයටම පැහැදිලි වුයේ රුසියාවේ කළු මුහුද ආශ්‍රිත සුප්‍රකට සෝචි නිවාඩු නිකේතන නගරයේදී ඇරඹි සාකච්ඡා වලදී මුල සිටම ඇතිවු දැඩි මතබේදකාරී තත්ත්වය නිසාවෙනි. පසුගිය සඳුදා ආරම්භ වු දෙදින සමුළුව හරියටම පැවතියේ දිනක් පමණි.
සෝචි වෙත පැමිණි සිරියානු විපක්ෂ සටන්කාමී පාර්ශවය ගුවන්තොටුපලේ සිටම විරෝධතා ආරම්භ කළහ. ප්‍රථමයෙන් ඔවුන්ගේ විරෝධතාව එල්ල වුයේ සාම සාකච්ඡා සදහා කර ඇති සැරසිලි සම්බන්ධයෙනි. එම බැනර වලට ඇතුලත්ව තිබුනේ සිරියාවේ අල් අසාද් ජනාධිපතිවරයාගේ රජය නියෝජනය කරන සංකේත පමණක් බව විපක්ෂ සටන්කාමීහු පෙන්වා දුන්හ. ඔවුන්ගේ ආරම්භක ඉල්ලීම වුයේ සියලු සැරසිලි බැනර වහා ඉවත් කරන ලෙසටයි. ගැටළුව සදහා තුර්කි රජය මැදිහත් වුවද ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදැක්වු විපක්ෂ නියෝජිතයෝ ගුවන්තොටුපලෙන්ම ආපසු හැරී තුර්කියේ අන්කාරා අගනුවර බලා ගියහ.
සාම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වු රුසියානු විදේශ ඇමැති සර්ගෙයි ලව්රෝව්ට එහි සිටි ඇතැම් සටන්කාමී නියෝජිතයන්ගේ බාධාකිරිම්වලට මුහුණ දීමට සිදුවිය. රුසියාව සිරියාවේ අහිංසක වැසියන් මරාදමන බවට සටන්කාමී නියෝජිතයෝ විවෘතව කෑගසමින් රුසියානු විදේශ අමාත්‍යවරයාට බාධා කළහ. එපමණක්ද නොව රුසියාව මේ සාම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම හා ඊට එක්සත් ජාතින්ගේ සංවිධානය දායක වීම සම්බන්ධයෙන්ද විපක්ෂ සටන්කාමීහු විරෝධය පළකලහ.
 එක්සත් ජාතීන්ගේ විශේෂ සිරියානු සාම නියෝජිත ස්ටෆාන් ඩි මිස්තුරා තමාට හා ජගත් සංවිධානයට එරෙහිව එල්ල වු චෝදනා වලට පිළිතුරු දෙමින් කියා සිටියේ රුසියාව අනුග්‍රහ දැක්වුවද සාම වැඩසටහන එක්සත් ජාතින්ගේ පූර්ණ මෙහෙයවීම හා අධිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන බවයි. විවිධ බාධක මැද පැවති සාකච්ඡා අවසානයේ සිරියාවේ අර්බුදය විසදීම සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට යෝජනා විය. ඒ සදහා විශේෂ මණ්ඩලයක් ද පත්කර ගැනිණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහි පූර්ණ බලැති මැදිහත්කරු ගේ භූමිකාව නිරූපණය කරයි. ජගත් සංවිධානයේ විශේෂ නියෝජිත ඩි මිස්තුරා කියා සිටියේ නියෝජිතයන් 150කින් සමන්විත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් යෝජනා කෙරුණු බවත් එහි නම් 50 බැගින් යෝජනා කිරීම රුසියාව තුර්කිය හා ඉරානය විසින් භාරගෙන ඇති බවත් සදහන් කළේය. මෙහිදි තුර්කියේ මැදිහත්වීම යටතේ විපක්ෂ සටන්කාමී පාර්ශවයටද සැළකිය යුතු නියෝජනයක් හිමිවන බව ජගත් සංවිධාන නියෝජිතයා සදහන් කළේය. එහෙත් රුසියාව හා ඉරානය යන රටවල් දෙකම නියෝජනය කරන්නේ සිරියා රජයේ පාර්ශවය නිසා මේ මණ්ඩලයේ සංයුතිය ගැන බරපතල ගැටලු ඇතිවීම වළක්වාලිය නොහැකිය.
2011 අරාබි වසන්තයෙන් පටන්ගෙන අද වනවිට විවිධ සටන්කාමී පාර්ශව අතර බෙදී ගිය සිරියාව දක්වා සලකා බැලු කළ මෑත කාලීන වඩාත් බිහිසුණු මානව ඛේදවාචකය සිරියාවේ සිදුවෙමින් පවතී. සිරියාව යනු අද වනවිට ඕනෑම අවි ගත් පුද්ගලයෙකුට ඕනෑම කෙනෙක් මරාදැමිය හැක. අවශ්‍ය වන්නේ මියයන තැනැත්තා ත්‍රස්තවාදියෙකු බව ප්‍රකාශ කිරීම පමණි. සිරියාව යනු අද ලෝකයේ විවිධ ඉස්ලාමීය සටන්කාමී කල්ලි වල යුද පුහුණු වෙඩිපිටියයි.
අයි එස් ත්‍රස්ත කල්ලිය පෝෂණය වීම, යුද්ධයේ පරිනත බව ලබාගැනීම හා භූමිය අත්පත් කරගැනීම මෙන්ම ඔවුන්ගේම රාජ්‍යයක් (කැලිෆේට්) ප්‍රකාශයට පත්කිරිමද සිදුවුයේ සිරියාව පදනම් කරගනිමිනි. සිරියාවේදි යුද පුහුණුව ලබන විවිධ රටවල අසි එස් ත්‍රස්තවාදි සාමාජිකයෝ නැවත තම රටවලට ගොස් බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙති. යුද්ධයට පෙරාතුව සිරියානු රජයේ එනම් බෂර් අල් අසාද් ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පැවති සිරියාව අද වනවිට පාර්ශව ගණනාවකගේ පාලනය සහිත කුඩා ප්‍රදේශවලට කැඩි ගිය රාජ්‍යයකි.
අන්තර්ජාතික බලවත් මෙහෙයුම්කරුවන් ඉතා බරපතළ ලෙස තම අභිලාෂයන් මුදුන් පමුණුවාගැනීම සදහා සිරියානු යුද්ධයට විවිධාකාරයෙන් මැදිහත්ව සිටින ආකාරය මුල සිටම ඉතා පැහැදිලිව දක්නට ලැබුණු කරුණකි. එමෙන්ම මැදපෙරදිග බලය සදහා අමෙරිකාව හා රුසියාව වක්‍රාකාර සෙවණැලි යුද්ධයක යෙදී සිටින්නේද සිරියාව කේන්ද්‍ර කරගනිමිනි. බළලුන් ලවා කොස් ඇට බෑවීම වැනි මේ ආකාරයේ වක්‍ර යුද්ධ අපට දක්නට ලැබුනේ ලෝකය ධනවාදී හා සමාජවාදී වශයෙන් බල කදවුරු වලට බෙදි අමෙරිකාවත් සෝවියට් දේශයත් බලය හා ගෝලීය ආධිපත්‍යය සදහා තරග වැදුනු නිරවි යුද සමය හෙවත් සිසිල් යුද සමය එනම් 1990 දශකයට පෙරාතුවයි.
සිරියානු යුද්ධය යනු මුළුමනින්ම එරට ජනතාවගේ අවශ්‍යතා මත හෝ අයිතිවාසිකම් දිනාගැනිම සදහා ආරම්භ වු සටනක් නොවේ. එය බහුල වශයෙන් ලෝක බලවතුන් හා කලාපීය බලවතුන්ගේ අවශ්‍යතා මත ඇතිවුවකි. 2010- 2011 අරාබි වසන්තය හෙවත් අරාබි ලෝකයේ අධිකාරිවාදි පාලනයන්ට එරෙහිව ටියුනීසියාවෙන් ඇරැඹි උතුරු අප්‍රිකාණු හා මැදපෙරදිග කලාප හරහා හමාගිය විරෝධතා රැල්ල අවසන් වුයේ බහුල වශයෙන් ජනතා අභිලාෂයන් මුදුණු පමුණුවාලීම වෙනුවට කලාපීය හා ගෝලීය දේශපාලනික අවස්ථා ඉටුකරගැනීමට යාමෙන් ඇතිවු ඉතා සංකිර්ණ අර්බුද රැසක් නිර්මාණය කරමිනි. සිරියානු අර්බුදය ඒ අතරින් වඩාත්ම ගැටලු සහගත සංසිද්ධියයි. සිරියාව යනු මැදපෙරදිග කළාපයේ බල තුලනය අතින් තිරණාත්මක රාජ්‍යයකි.
1960 දශකයේ සිට අල් අසාද් පාලනයේත් භාත් පක්ෂයේත් බලාධිකාරය යටතේ පැවති සිරියාව විපක්ෂ දේශපාලනයෙන් හා දේශපාලනික මෙන්ම සිවිල් අයිතිවාසිකම් ගැනද බරපතළල ගැටලු වලින් සමන්විත රටකි. එහෙත් අරාබි වසන්තය පදනම් කරගත් විරෝධතා මැඩලීමට සිරියානු රජය ගත් අමානුෂික පියවර හා එය දඩමීමා කරගනිමින් සටන්කාමී කන්ඩායම් නිර්මාණය කර සිරියානු යුද්ධය ආරම්භ කිරිමට බටහිර හා අරාබි බලවතුන් ගත් ක්‍රියාමාර්ග නිසා අවසානයේ සිදුවුයේ මෑත කාලීන ලෝක ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු මානව ඛේදවාචකය නිර්මාණය වීමයි. විසිලක්ෂයකට අධික ජනයා අවතැන්ව සරණාගතයන් ලෙස විවිධ රටවලට පළාගියේ ගෝලීය සරණාගත ප්‍රශ්නයක් නිර්මාණය කරමිනි. යුරෝපයේ හා අමෙරිකාවේ බරපතල දේශපාලනික ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කරලීමට මේ සරණාගත ප්‍රශ්නය මුල්විය.
සිරියාවේ ආසාද් පාලනය රෙජිම් චේන්ජ් හෙවත් පාලන වෙනසකට ලක් කිරීම මඟින් අරමුණු කිහිපයක් සාක්ෂාත් කරගැනීමට බටහිර හා කලාපීය බලවතුන් ට අවශ්‍යව තිබු බව පැහැදිලිය. සිරියාව බිදවැට්ටවීම මඟින් රුසියාව හා ඉරානය මැදපෙරදිග කලාපයේ අඩු ක්‍රියාකාරිත්වයක් දක්වා තල්ලු කිරිම බටහිර බලවතුන්ගේ අපේක්ෂාව වු බව පෙනේ. අරාබි බලවතුන්ගේ අපේක්ෂාව වුයේ කලාපයේ ෂියා මුස්ලිම් පාලනයක් අවසන් කිරිමෙන් සුන්නි පාර්ශවය වඩාත් බලවත් තැනකට ගෙනඒමයි. මේ කිසිදු අරමුණක් ඉටු නොවී දිග්ගැසෙන යුද්ධයක් සිරියාවේ ආරම්භ වුයේ රුසියාව ජනාධිපති අසාද්ගේ පාලනය රැකීම සදහා ක්‍රියාකාරීව මැදිහත් වීමෙනි .
ඒ හරහා සිරියාවේ යුද්ධය බටහිර වාසිදාකත්වයෙන් ඔබ්බට ගෙන ගොස් නැවතත් අසාද් පාලනය සුරක්ෂිත තැනකට ගෙනඒමය රුසියාවට හැකිවිය. එය අමෙරිකාව කිසිසේත් අපේක්ෂා නොකළ තත්ත්වයකි. සාමය කතා කිරිමට ගොස් රුසියාව අර්බුදයකට මැදි වුවද යුද්ධය නිසි ඉලක්කය කරා ගෙනයාමට රුසියානු නායක ව්ලැදිමීර් පුටීන් සමත්වී තිබේ. අයි එස් හා බටහිර හිතවාදි කැරලිකරුවන් තම ප්‍රහාර තුලින් දුර්වළ තැනකට ඇද දැමූ රුසියාව සාම සාකච්ඡා මේසයක් විවෘත කළේ අමෙරිකාවට වඩා පියවරක් ඉදිරියෙන් තබමිනි.
අනෙක් අතට අමෙරිකාව හා එරට හිතවාදි පාර්ශව අතරද මතබේද පවතී. වඩාත්ම සැලකිල්ලට ලක්වන ප්‍රශ්නය අමෙරිකාව හා එහි ප්‍රධාන සහායක රටක් වන තුර්කිය අතර අලුතෙන් හටගෙන ඇති මතබේදකාරි තත්ත්වයයි. මේ නිසා අමෙරිකාවේ සිරියානු භූමිකාව තවත් දුර්වල වන තත්ත්වයක් උදාකර තිබේ. ඒ ප්‍රධාන වශයෙන්ම අමෙරිකාව සිරියාවේ කුර්දි සටන්කාමීන් ශක්තිමත් කිරිමට පියවර ගැනිම නිසාවෙනි. කුර්දිවරුන් හා තුර්කිය අතර ඇත්තේ ජන්මාන්තරගත වෛරයකි. ඒ කුර්දි ජාතිකයන් තුර්කියේ වෙනම රාජ්‍යයක් බිහිකිරීමට සටන් කිරිම නිසා ඇතිවු තත්ත්වයකි.
අමෙරිකාවේ යෝජනාව අනුව කුර්දි සටන්කාමීන්ට සිරියාවේ දේශසීමාබද ආරක්ෂාව පැවරේ. එහෙත් තුර්කිය ඊට විරුද්ධව ක්‍රියාත්මක වනවා පමණක් නොව සිරියානු දේශසිමාව ඉක්මවා තම හමුදා යවා කුර්දි සටන්කාමීන්ට එරෙහිව යුද මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.
කුර්දිවරුන්ට සහය දීම ගැන අමෙරිකාවට තුර්කිය දොස් පවරන අතර තුර්කි යුද මෙහෙයුම් නැවැත්වීමට ඉදිරිපත් නොවීම නිසා කුර්දි සටන්කාමින්ද අමෙරිකාවට දොස් පවරයි. නේටෝ සාමාජිකයෙකු වන තුර්කියේ හොදහිත අමෙරිකාවට අවශ්‍ය වන්නේ එම කලාපයේ තුර්කිය සතු බලය මෙන්ම සිරියානු යුද්ධය ආරම්භයේ සිට මේ දක්වාම අමෙරිකාව සිදු කළ සිරියානු රහස් මෙහෙයුම් වලට තුර්කියේ දායකත්වය ලැබි තිබිමද නිසාවෙනි.
තුර්කියේ මිත්‍රත්වය හා සහය තමන් වෙත තබාගැනීමත් තමන් හදා වඩා පුහුණු කළ කුර්දි ගරිල්ලන්ගේ අවශ්‍යතා ඉටුකිරීමත් යන අන්ත දෙකට අමෙරිකාව දැන් මැදිවී සිටී. එක් පැත්තකින් තුර්කිය හා අමෙරිකාව අතර මතබේදයක් නිර්මාණය වෙද්දී තමන් වෙත තුර්කිය ළං කරගැනීම ට රුසියානු ජනාධිපත් ව්ලැදිමීර් පුටින් සූක්ෂම වී තිබේ. ජනාධිපති ට්‍රම්ප්ගේ හුදෙකලාවාදී පිළිවෙතේදී මැදපෙරදිග සෙවණැලි යුද්ධයේ වැඩි බරක් රුසියාවට වාසිදායක අතට යොමුවීම වළක්වාලීම දුෂ්කරය.



Comments

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු