පරිසර නියමු වැඩසටහන - ගුරු විභාග සදහා..


පරිසර නියමු වැඩසටහන 
මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ජාතියට හදුන්වා දෙන ලද පුළුල් වූත්, බහුමානීය වූත් පරිසර සංරක්ෂණ ජාතික වැඩපිළිවෙළ වන්නේ නීල - හරිත යුගයක් අනාගත ශ්‍රී ලංකාවේ බිහිකරලීම උදෙසා වන ක්‍රියාදාමයයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සියල්ලම ඒකාබද්ධ කරමින් මෙම පුළුල් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර එය 2016 වර්ෂයේදී ජනාධිපති තුමා විසින් ම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී රටට හදුන්වා දුන්නේය. මෙය දිගු කාලීන ක්‍රියාන්විතයක් වන අතර SRI LANKA NEXT යනුවෙන් හදුන්වනුයේ එම වැඩපිළිවෙලයි. ඒ තුළ හරිත ආර්ථිකයක් ගොඩනැගීමට අදාළ ක්‍රියාකාරකම්, හරිත ගොඩනැගිලි සංකල්පය, පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන්, ක්‍රමවත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන්, පරිසර හිතකාමී විද්වත් කථිකා තුළින් පාරිසරක සාක්ෂරතාව වර්ධනය කිරීම, ජනාධිපති පරිසර සම්මාන, හරිත වැලි තොටුපොළ සංකල්පය, ජාතික පරිසර නියමු වැඩසටහන ශක්තිමත් කිරීම, රුක්රෝපණ වැඩසටහන් ආදී වශයෙන් පුළුල් පරාසයක පැතිරුණු ක්‍රියාදාමයක් මීට අන්තර්ගතය. මෙවැනි පුළුල් පරිසර සංරක්ෂණ වැඩසටහනක් රටට හදුන්වාදීම සදහා වූ ආසන්නතම පෙළඹවීම වූයේ 2015 වර්ෂයේදී ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වූ ලෝක නායකයන්ගේ පරිසර සමුළුව හෙවත් Cop 21 නමින් හැදින් වු දේශගුණික විපර්යාස පාලනය කිරීම සදහා වූ සමුළුවයි.
ගෝලීය උෂ්ණත්වය
එනම් ලෝකයේ සෑම රටක්ම යම් එකගත්වයකට පැමිණෙමින් ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග තනි තනිවත්, සාමූහිකවත් ගැනීමේ තත්ත්කාලීන සමාජ අවශ්‍යතාව දැඩිව අවධාරණය කරන ලද කථිකාවයි. කවර ක්‍රියාමාර්ගයක් මගින් හෝ ඒක පුද්ගල කාබන් පියසටහන අවම කිරීම උදෙසා ගත යුතු විවිධ වූ ක්‍රියාමාර්ග SRI LANKA NEXT වැඩසටහනට ඇතුළත් කර ඇත. ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් ලග්ගල නව නගරය හරිත නගරයක් ලෙසින් විවෘත කරනුයේ ද එම පුළුල් වැඩපිළිවෙළෙහිම කොටසක් ලෙසිනි.
ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සඳහා වන ජාතික පාරිසරික පනත යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම පරිසර අධිකාරිය විසින් ද නීල - හරිත වැඩසටහන ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරන ජාතික තලයේ වැඩසටහන් දෙකකි. එනම්, පරිසර හිතකාමී ක්‍රියාකාරීන් සඳහා පිරිනැමෙන ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන හා මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පරිසර නියමු ජාතික වැඩසටහනයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති පදක්කම ලබාගැනීම සදහා සුදුසුකම් සම්පූර්ණ ලද පරිසර නියමුවන් 93 දෙනෙකු සදහා පදක්කම් පැලඳවීමේ උත්සවය ඒ අනුවපැවැත්වේ. පරිසර සංරක්ෂණයේ අනාගත ආයෝජනය ලෙසින් මෙම පරිසර නියමු ක්‍රියාන්විතය හදුන්වන අතර අනාගත පරිසර ආරක්ෂණ වැඩපිළිවෙළෙහි වත්මන් පදනම වන්නේද මෙම පරිසර නියමු වැඩසටහනයි.
පරිසරය අප රකියි - රකිමු අපි පරිසරය යන අර්ථ පූර්ණ තේමා පාඨය පෙරදැරිව ක්‍රියාත්මක පරිසර නියමු ජාතික වැඩසටහන යටතේ විවිධ වූ පරිසර ක්‍රියාකාරකම් සදහා පදක්කම් 5ක් ලබාදීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇත. එහි අවසාන පදක්කම වන ජනාධිපති පදක්කම පිරිනැමීම සිදුවනුයේ ජනාධිපති තුමා අතිනි. පාසල් 40ක් නියෝජනය කරමින් පරිසර නියමුවන් 93 දෙනෙකු සදහා ජනාධිපති පරිසර පදක්කම් පිරිනැමේ. තත්කාලීන ගෝලීය පාරිසරික අර්බුදවලට මුහුණ දෙමින් පරිසර සංරක්ෂණ කාර්යය උදෙසා වන ඉතා ප්‍රායෝගික, ක්‍රියාකාරී වැඩපිළිවෙලක් ලෙසින් පරිසර නියමු වැඩසටහනේ පවතින වලංගු භාවය මේ වන විට සපත කර හමාරය.
මෙම වැඩසටහන කොළඹ, මාළිගාවත්ත ප්‍රදේශයෙන් ආරම්භ කර දැනට දශක තුන හමාරක කාලයක් ඉක්ම ගොස් ඇත. එදා පුංචි පැළයක් ලෙසින් රෝපණය කරන ලද මෙම වැඩසටහන මේ වන විට ජාතියට සෙවණ, සහනය ගෙනදෙන මහා වෘක්ෂයක් බවට පත්වී ඇත. සංඛ්‍යාත්මකව සලකනවිට මෙරට පාසල් අතරින් 85%ක පමණ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර පරිසර අමාත්‍යවරයා ලෙසින් ජනාධිපතිතුමාගේ අරමුණ බවට පත්ව ඇත්තේ 2020 වන විට මෙරට සියලුම පාසල්වලට මෙම වැඩසටහන හදුන්වා දීමයි. මධ්‍යම පරිසර අධිකාරිය මේ වන විට එම ඉලක්කය සපුරා ගැනීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කරමින් පස් අවුරුදු සැලැස්මක් යටතේ එය පියවරෙන් පියවර ඉදිරියට ගෙන යමින් සීටී.
පරිසර නියමු වැඩසටහන පාසලේ 6 වන ශ්‍රේණියෙන් ආරම්භ කරන අතර ඒ සදහා සිසුන් 25ක කණ්ඩායමක් බදවා ගැනේ. එකිනෙක පාරිසරික ක්‍රියාකාරකම් ඔස්සේ ඉදිරියට යන පරිසර නියමුවන් සඳහා පදක්කම් 5ක් ලබාගැනීමේ ක්‍රියාදාමයක් ඒ තුළ පෙළ ගස්වා ඇත. පරිසර නියමු පදක්කම, හරිත වර්ණ පදක්කම, රජත වර්ණ පදක්කම, ස්වර්ණ වර්ණ පදක්කම හා ජනාධිපති පදක්කම වශයෙනි. ආරම්භක පරිසර පදක්කම ලබාගැනීමේ සිට අවසාන පදක්කම වන ජනාධිපති පදක්කම ලබාගැනීම දක්වා දීර්ඝ වූ පාරිසරික අධ්‍යයන වැඩපිළිවෙලක නිරත වන පරිසර නියමුවා යනු පාරිසරික සාක්ෂරතාව අතින් සමකාලීනයන්ට වඩා ඉදිරියෙන් සිටින සුවිශේෂී සමාජ චරිතයකි.
ගුරු අත්පොත
ඒ තත්ත්වය දක්වා යම් සිසුවකු පත්කිරීම සදහා මධ්‍යම පරිසර අධිකාරිය සමගින් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව, ඉතා කැපවීමෙන් යුක්තව සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකරනු ලබයි. විදුහල්පතිවරුන්, කොමසාරිස් වරුන්, පරිසර නියමු වැඩසටහන භාර ගුරු මහත්ම මහත්මීන්, කොට්ඨාස හා කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිසර විෂය භාර නිලධාරීන් ඇතුළු ඉතා පුළුල්ව විහිදුනු ව්‍යූහාත්මක වැඩපිළිවලක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ මේ වන විට ස්ථාපිත කර ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය හා පළාත් හා දිස්ත්‍රික් කාර්යාලයන්හි නිලධාරීන්ද අනොන්‍ය වශයෙන් පාසල් ප්‍රජාව සමගින් ඒකාබද්ධව පරිසර නියමු වැඩසටහන පෝෂණය කරමින් එකිනෙක පදක්කම් ලබාගැනීමට අවශ්‍ය කාර්යයන්හි නිරත වෙති.
ගුරු මහත්ම මහත්මීන් වෙත මෙම වැඩසටහන පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් කරමින් ගුරු අත්පොතක් ලබාදී ඇති අතර එකිනෙක පදක්කම් සදහා පරිසර නියමුවන් ඉටු කළ යුතු කාර්යයන් මොනවාද යන්න පිළිබඳ තොරතුරු එහි ඇතුළත් කර ඇත. ශ්‍රී ලාංකීය භූමියේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් පරිසරයට සංවේදී පුරවැසියන් පිරිසක් බිහිකරලීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සදහා සුවිශේෂී අනන්‍යතාවක් ලබාදීම වෙනුවෙන් අංග කීපයක්ම ඇතුළත් කර ඇත. එනම්, පරිසර නියමුවාටම අනන්‍ය වූ නිල ඇදුමක් හදුන්වා දීම, මෙම වැඩසටහන සදහාම වෙන්වූ පරිසර ගීතයක් හා පරිසර ප්‍රතිඥාවක් හදුන්වා දීම, පාරිසරික ආචාරධර්ම පද්ධතියක් හදුන්වා දීම දීම ආදිය ඒ අතර ප්‍රධාන වේ.
මූලික වශයෙන් පැළයක් රෝපණය කරමින් එය රැක බලාගන්නා පරිසර නියමුවන් ක්‍රමයෙන් එය වැඩෙන ආකාරය නිරීක්ෂණය කරනු ලබයි. මෙම පුංචි පරිසර ක්‍රියාකාරකමෙන් සිය පරිසර නියමු වැඩපිළිවෙලට අත්පොත් තබන පරිසර නියමුවා පදක්කම් ක්‍රියාවලියේ ඉදිරියටම යමින් අවසානයේ තම ප්‍රදේශයේ යම් පරිසර ගැටළුවක් හදුනා ගනිමින්, තමන්ගේ මූලිකත්වයෙන් පරිසර සංවිධානයක් පිහිටුවා ගනිමින් එම ගැටලුව ප්‍රායෝගික ආකාරයෙන් විසදීම දක්වා ක්‍රියාකාරකම් දූරාවලියක නිරත වේ. මේ වන විට පාසල් පරිශ්‍රයෙන් බාහිරට සිය පරිසර කාර්ය පටිපාටිය විහිදුවා ඇති පරිසර නියමුවන් තම ගෘහස්ථ පරිශ්‍ර හා තම ගමේත්, හාත්පස ප්‍රදේශයේත් පරිසර ක්‍රියාකාරකම්හි නිරත වෙමින් සමාජයේ පිළිගැනීමට පාත්‍ර වූ චරිත බවට පත්වී හමාරය. ඔහු හෝ ඇය සිය අධ්‍යාපන ධාරාවන් අනුව කුමන වෘත්තියක් තෝරාගනු ලැබූවත්, ස්වයං රැකියාවක් කළත් ඔවුන් තුළ ජීවත් වන පරිසර සංවේදී ආදර්ශවත් සමාජ චරිතය ඉස්මතුවීම අනිවාර්යයෙන් සිදුවෙයි. එකී සංවේදී බව තුළින් ඔවුන් පරිසරය ආරක්ෂා කිරීම සදහා ක්‍රියාත්මක වනුයේ නිරායාසයෙනි. මේ තත්ත්වයට අපේ අනාගත ශ්‍රී ලාංකීය පුරවැසියා නිර්මාණය කරගැනීමෙන් අප හමුවේ තිබෙන බොහොමයක් පරිසර ගැටලුවලට විසදුම් ලැබෙනු ඇත. ඒ සදහා අවශ්‍ය වන්නේ පෞද්ගලික ආත්මාර්ථකාමී චින්තනයෙන් මිදී පරාර්ථකාමී චර්යාත්මක ජීවිතයකට සමාජය පිලිගත කිරීමයි. එම උදාර වැඩපිළිවෙලේ සුවිශේෂී කාර්ය භාරයක් ජාතික මට්ටමින් ඉටු කරන සමාජය පිළිගත් වැඩසටහන බවට පරිසර නියමු වැඩසටහන පත්ව තිබීම අප කාගේත් සොම්නසට හේතු වන්නකි.
යම් පුද්ගලයකු පරිසර සංවේදී බවට පත්කිරීමට නම් ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්සේ පාරිසරික දැනුමින් සන්නද්ධ කළ යුතුය. පරිසර දැනුම එක් රැයකින් හෝ දෙකකින් ලබාගත හැක්කක් නොවේ. දරුවන්ගේ දෛනික අධ්‍යාපන කාර්ය පටිපාටියට බාධාවක් නොවන අයුරින් මෙන්ම එම වැඩපිළිවෙලට ද ශක්තියක් ලැබෙන ආකාරයෙන් පරිසර නියමු වැඩසටහන සංවිධාන ගත කර තිබීම එහි ඵලදායීත්වය කියාපාන්නකි. තම තමන්ගේ ප්‍රදේශයන්හි පිහිටා ඇති ස්වභාවික පරිසර පද්ධතිවල සංචාරය කරමින්, ඒවා ඉතා සංයමයෙන් යුතුව නිරීක්ෂණය කරමින් ඔවුහු ක්‍රම ක්‍රමයෙන් පාරිසරික සංවේදී බව සිය ශරීරවලට එන්නත් කර ගනිති. පක්ෂි චර්යාවන් අධ්‍යනය කිරීමෙන්, වෙනත් සත්ත්ව චර්යාවන් අධ්‍යනය කිරීමෙන්, විවිධ පරිසර පද්ධතිවලට ආවේණික වූ සුවිශේෂතා අධ්‍යනය කිරීමෙන් ආදී වශයෙන් පුළුල් වූ පරිසර නිරීක්ෂණ ක්‍රියාදාමයක් මගින් සිය පාරිසරික සාක්ෂරතාව පෝෂණය කරගනිති.
කඳවුරු අත්දැකීම්
පරිසර නියමු වැඩසටහනේ අන්තර්ගතයට අදාළව සලකන විට පරිසර පදක්කම් ක්‍රියාවලියේ ඉහළට යන පරිසර නියමුවන්ට හිමිවන තවත් සුවිශේෂී අද්දැකීමක් වන්නේ කඳවුරුවලට සහභාගීවීමේ අවස්ථාවයි. දිස්ත්‍රික් මට්ටමින් සහජාතික මට්ටමින් පරිසර නියමු කදවුරු පැවැත්වෙන අතර පරිසර නියමුවන්ගේ පරිසර හිතකාමී චර්යාවන් සහ කලාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමත් කදවුරු තුළදී සිදුවේ. ඊට අමතරව නූතන පරිසර දැනුම ලැබෙන පරිදි විද්වතුන්ගේ දේශනවලට සවන් දීමත්, පරිසර විෂය සම්බන්ධයෙන් ලෝකයේ නිෂ්පාදනය කර ඇති සම්මානනීය වාර්තා චිත්‍රපට නැරඹීම වැනි දුර්ලභ පරිසර අත්දැකීම් ලබාගැනීමේ ඉඩ කඩත් මෙවැනි කදවුරුවලදී ලැබේ. මෙයට සමගාමීව පරිසර නියමු කදවුරු පැවැත්වෙන ප්‍රදේශයන්හි තිබෙන විවිධ පරිසර පද්ධති නිරීක්ෂණයටත්, විවිධ සංවර්ධන ව්‍යාපෘතීන්හි ක්‍රියාකාරිත්වය අධ්‍යයනය සදහාත් අවස්ථාව සැලසේ. පරිසර නියමු කදවුරුවලදී පරිසර නියමුවන් සදහා සුවිශේෂී පරිසර අත්දැකීම් ලැබෙන බැවින් අද වන විට පරිසර නියමුවන්ගෙන් මෙන්ම අදාළ ගුරු මහත්ම මහත්මීන්ගෙන් ද ඉහළ ඉල්ලුමක් මේ සදහා පවතී.
පරිසර නියමු පදක්කම් ක්‍රියාවලියේ ඉහළ කුසලතා දැක්වූ දරුවන් සදහා දේශීය සහ විදේශීය පරිසර සංචාර ලබාදීම ද මෑතක සිට ක්‍රියාත්මක කරන්නකි. ඉන්දියාවේ පිහිටි පරිසර තොරතුරු අධ්‍යයන මධ්‍යස්ථානය සමග ඒකාබද්ධ වෙමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර නියමුවන් සදහා ඉන්දීය සංචාරය සංවිධානය කරනු ලබයි. පරිසර නියමු ජනාධිපති පදක්කම සදහා හිමිකම් කියන එහි උපරිම ලකුණු ලබාගන්නා නියමුවන් සදහා වාර්ෂිකව මෙම ඉන්දීය සංචාරය හිමිවේ. එහිදී ඉන්දියාවේ ක්‍රියාත්මක කරන හරිත සංකල්පය යටතේ වන විවිධ වූ පරිසර අත්දැකීම් විදගැනීමේ දුර්ලභ අවස්ථාව පරිසර නියමුවන්ට හිමිවන සුවිශේෂී අවස්ථාවක් වන්නේය.
පරිසර සංරක්ෂණය
පරිසර සංරක්ෂණය අරමුණු කරගත් යම් වැඩසටහනක් ඵලදායී වීමට නම් එය සැබෑ ලෙසින්ම මහා පොළොවට දැනෙන, පරිසරයට දැනෙන වැඩසටහනක් වීම අනිවාර්ය වූවකි. මන්ද කාලයෙන් කාලයට මතුවන බොහෝ වැඩසටහන් අතරින් ඇතැම් ඒවා ඉතා ආකර්ෂණීය සංකල්ප ලෙසින් මතුවී සංකල්ප ලෙසින්ම මිය යන අතර ඇතැම් ඒවා ටික දුරක් ක්‍රියාත්මක වී මහා ධනස්කන්ධයක් කාබාසිනියා කරමින් අතුරුදහන් වන නිසාය. එවැනි ව්‍යාපෘති ජාතික අපරාධයන් ලෙස ඉතිහාස ගත වනු ඇත. එවන් වටාපිටාවක යම් යම් අඩුපාඩු, දුෂ්කරතා මධ්‍යයේ වුවද පරිසර නියමු වැඩසටහනේ සමාජ බලපෑම ඉතා ඵලදායී වී ඇත. එනම්, පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක පාසල්හි අභ්‍යන්තර පරිශ්‍රයන් බොහෝදුරට පරිසර හිතකාමී සුන්දර වටාපිටාවක් සහිත ආකර්ෂණීය ස්ථාන බවට පත්ව ඇත. ඩෙංගු උවදුර වැනි මාරාන්තික රෝග පාලනයේදී විශේෂයෙන් පාසල් පරිසර පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වූවක් වන බැවිනි. පරිසර නියමු වැඩසටහන ඔස්සේ පාසලට පමණක් සීමා නොවී ගෘහාශ්‍රිත පරිසරයටත්, ගම වෙතටත් පාරිසරික සාක්ෂරතාව ගලනය වීම නිසා ධනාත්මක බලපෑමක් සිදුව ඇත. අපද්‍රව්‍ය කළමනාකරණය, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය, රුක් රෝපණ වැඩසටහන්, විශේෂයෙන් රජය මගින් 2017 වර්ෂයේ සක්‍රීය ලෙසින් ක්‍රියාත්මක කරන ලද ඇතැම් පොලිතීන් නිෂ්පාදනයන් තහනම් කිරීම වැනි පරිසර හිතකාමී වැඩපිළිවෙල් සදහා පරිසර නියමුවන් ඉතා සංවේදී පුරුවැසියන් ලෙසින් අවංකවම ක්‍රියාත්මක වීම මගින් සමාජයට දැනෙන බලපෑමක් සිදු කර ඇත. අද වන විට බොහොමයක් පාසල් පොලිතීන් තහනම් කලාප බවට ප්‍රකාශයට පත් කර ඇත. පරිසර නියමු වැඩසටහන භාර ගුරු මහත්ම මහත්මීන්, විදුහල්පතිවරුන් මෙන්ම පරිසර නියමුවෝ එහි ප්‍රමුඛයෝ බවට පත්ව සිටිති.
කොතැනක රුක් රෝපණයක් සිදු වුවත්, ලෝක පරිසර දිනය, මිහිතල දිනය, ජල දිනය, ජෛව විවිධත්ව දිනය .... ආදී වශයෙන් වන පරිසර සැමරුමකට අදාළ දිනයකදී පෙරමුණේ සිටින කණ්ඩායම වනුයේ පරිසර නියමුවන්ය. මේ අනුව වත්මන් ශ්‍රී ලාංකීය සමාජයේ පරිසර විෂය හා අත්‍යන්තයෙන් බැදී සිටින පරිසරය හා ප්‍රායෝගික අයුරින් කටයුතු කරන ප්‍රධානතම ජාතික ප්‍රවාහය පරිසර නියමු ජාතික වැඩසටහනයි. එය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකීය මහා පොළොවට අස්වැසිල්ලක් ලබාදෙන, මහා පොළොව ඉල්ලන වර්ෂාවක් ලෙසින් ක්‍රියාත්මක වීමට පරිසර නියමු වැඩසටහනට අවස්ථාව සලසාලීම අප සියල්ලන්ගේම යුතුකමයි.
ජනාධිපති පදක්කම ලබාගනිමින් පාසල් භූමිකාවේ කටයුතු නිමා කර, සමාජයේ කුමනස්ථානයකට ගියත්, කුමණ ක්ෂෙත්‍රයක වෘත්තිකයෙකු වුවත්, මේ මිහිතලයේ කුමන ස්ථානයක් වාස භූමිය බවට පත්කර ගත්තත් ශ්‍රී ලාංකීය මහා පොළොවෙන් උපන් පරිසර නියමුවා යනු පරිසරයට අබමල් රේණුවකින්වත් හානියක් නොකරන භූමි පුත්‍රයකු වනු නොඅනුමානය.
අපේ හුස්මෙන් පවා පරිසරය නිවේවා.
ජී. සුසන්ත කුමාර 

Comments

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු