ඉදිරියට කුමක් සිදුවේද ?
බාධක පසුකර ආර්ථිකය පෙරට
ශ්‍රී ලංකාව 2018 ආදායම් වර්ෂයේදී සියට 3.2 ක ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇතැයි පසුගිය සතියේ නිකුත් වූ 2018 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව කියයි. එසේම කෘෂිකාර්මික ක්ෂේත්‍රය සියයට 4.8 කින් වර්ධනය වූ බව ද එම වාර්තාව තවදුරටත් වාර්තා කරයි.
මුදල් නීති පනතේ 35 වගන්තියේ (422 අධිකාරිය) විධිවිධාන ප්‍රකාරව සෑම මුදල් වර්ෂයක් අවසාන වී මාස හතරක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්ත්වය, එම මුදල් වර්ෂය තුළ මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ විවරණයක් සහ එම ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හේතු වූ ආර්ථික හා මූල්‍ය තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණයක් අඩංගු වාර්ෂික වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ.
එම නීතිමය අවශ්‍යතාව සපුරමින් 2018 වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ හැටනවවැනි වාර්තාව මෙසේ මුදල් ඇමැතිවරයා වෙත බාරදීම ගිය සතියේ සිදුවිය.
මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතා වෙත 2018 මහ බැංකු වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු ද සහභාගි වූහ.
මහ බැංකු වාර්තාව යනු හුදෙක් 'ඉලක්කම් මල්ලක්' නොවේ. රටේ ආර්ථිකය මෙන්ම අනාගත පැතිකඩ කීපයක් ද එමඟින් නිරූපණය වන නිසා ව්‍යාපාරිකයෝ ද, ආර්ථික පර්යේෂකයෝ ද රට ගැන උනන්දුවන සෙසු පිරිස් ද මේ ලියැවිල්ල පිළිබඳව උනන්දු වෙති.
මහ බැංකු වාර්තාව මෙසේ කියයි.
'2018 වසරේදී පහළ උද්ධමනකාරී වාතාවරණයක් මධ්‍යයේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය ගෝලීය හා දේශීය බාධාවන්ට ලක්වීමේ අවදානම් සහගත බව වැඩි වශයෙන් පිළිබිඹු කෙළේය.
2018 වසරේදී දළ දේශීය නිෂ්පාදනය පසුගිය වසරේ වාර්තා කළ සියයට 3.4 ට සාපේක්ෂව සියයට 3.2 ක අගයක් වාර්තා කරන ලදී.
සේවා අංශය
සේවා අංශයේ ක්‍රියාකාරකම්වල සිදු වූ සියයට 4.7 ක වර්ධනය සහ කෘෂිකාර්මික කටයුතු යථා තත්ත්වයට පත්වීමෙන් එම අංශයේ වාර්තා කළ සියයට 4.8 ක වර්ධනය මේ සඳහා වැඩි දායකත්වයක් සපයන ලදී. ඉදිකිරීම් කටයුතුවල පසුබෑම නිසා වසර තුළදී කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 0.9 දක්වා සැලකිය යුතු මට්ටමකින් මන්දගාමී වියැයි එම වාර්තාව කියයි.
කෘෂි
කෘෂි
2018 වසරේදී කෘෂිකර්මාන්ත අංශයේ වර්ධනයක් සිදුවීම ඉතා සතුටුදායක තත්ත්වයක් බව 2017 මහ බැංකු වාර්තාව සමඟ 2018 වාර්තාව සසඳන විට පැහැදිලි වේ. 2017 මහ බැංකු වාර්තාවේ 44 - 52 දක්වා පිටුවල 2017 කෘෂිකර්මාන්තයේ කඩාවැටීම විස්තර කරයි. ඒ පහත සඳහන් අන්දමිනි.
'අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම පිළිබිඹු කරමින් 2017 වසරේදී කෘෂිකාර්මික, වන වගාව හා ධීවර කටයුතුවල එකතු කළ අගය 2016 වසරේදී වාර්තා කළ සියයට 3.8 ට සාපේක්ෂව සියයට 0.8 කින් පහත වැටුණි. විශේෂයෙන් වසරේ (2017) පළමු මාස නවය තුළ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පහත වැටුණු කෘෂිකාර්මික කටයුතු වසරේ අවසන් කාර්තුව තුළදී හිතකර වර්ධනයක් පෙන්නුම් කරන ලදී. ධාන්‍ය වගාව උක් වගාව, කෝපි, කොකෝවා වගා පහත වැටුණි. (2017 මහ බැංකු වාර්තාව පිට 44)
අයහපත් කාලගුණික තත්ත්වය නිසා 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනයට අත්වූ ඉරණම 2017 මහ බැංකු වාර්තාව මෙසේ ද පවසයි.
'අයහපත් කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම ඉස්මතු කරමින් පසුගිය දශකය තුළ අඩුම වී නිෂ්පාදනය වාර්තා කරමින් වසර තුළ වී නිෂ්පාදනය සියයට 46.1 කින් පහත වැටුණි. 2016/17 මහ සහ 2017 යල කන්න දෙකෙහිම වී නිෂ්පාදනය පිළිවෙළින් සියයට 49.2 කින් සහ සියයට 40.1 කින් මෙට්‍රික් ටොන් මිලියන 1.47 ක් සහ මෙට්‍රික් ටොන් මිලියන 0.91 දක්වා පහළ ගියේය.'
2016/17 මහ කන්නයේදී වපුරන ලද දළ බිම් ප්‍රමාණය හෙක්ටයාර 542556 දක්වා සියයට 28.2 කින් පහළ ගියේය. 2017 යල කන්නයේ වපුරන ලද දළ බිම් ප්‍රමාණය පසුගිය යල කන්නය හා සසැඳීමේදී හෙක්ටයාර 249123 දක්වා සියයට 35.3 කින් පහළ ගියේය.
වී නිෂ්පාදනය
වී නිෂ්පාදනය
2016/17 මාස් කන්නය සහ 2017 යල කන්නය යන කන්න දෙකේ වාර්ෂික වී නිෂ්පාදනය සහල් මෙට්‍රික් ටොන් දසලක්ෂ 1.7 කට සමාන වූ අතර එය මාස 8 ක දේශීය පාරිභෝජන අවශ්‍යතාවට සෑහෙයි. ඒ නිසා සහල් මෙට්‍රික් ටොන් 800000 ක් පමණ වන සහල් හිඟය පියවන ලද්දේ සහල් ආනයනයෙනි.
ඉන්දියාව, පාකිස්තානය, මියන්මාරය, කාම්බෝජය සහ තායිලන්තය වැනි රටවලින් 2017 දී සහල් ආනයනය කිරීමට ඇ. ඩොලර් දසලක්ෂ 300.9 ක් වැය කිරීමට සිදුවූ බව 2017 මහ බැංකු වාර්තාව (පිට 46) සඳහන් කරයි.
වී කර්මාන්තයට මුහුණදීමට සිදුවූ මේ නරකම තත්ත්වය වෙනස් කිරීමට 2018 වසරේදී හැකියාව ලැබුණු බව මෙම අලුත්ම බැංකු වාර්තාව පෙන්වා දෙයි. එම වාර්තාව පවසන අන්දමට කාලගුණයේ යහපත්කම නිසා කෘෂිකර්ම අංශයේ පරිවර්තනය සිදුවිය. 2018 වර්ෂයේ ඇතැම් ආහාර ද්‍රව්‍ය මිල ගණන් ද අඩුවූ බව එම නවතම වාර්තාවේ සඳහන් වේ.
වී නිෂ්පාදන අනුව බලන විට 2018 වසරේ ඉතා සතුටුදායක තත්ත්වයක් පෙන්නුම් කර ඇත. වී නිෂ්පාදනය මෙ. ටොන් 3930000 දක්වා ඉහළ ගොස් ඇත. මීට පෙර 2017 වසරේ ලබාගත් වී අස්වැන්න මෙ. ටොන් 2383000 කි. වී වගාකළ භූමි ප්‍රමාණය 2017 වසරේදී හෙක්ටයාර 792000 කි. එම භූමි ප්‍රමාණය 2018 වසරේදී හෙක්ටයාර 1041000 දක්වා ඉහළ ගොස් ඇත.
අස්වැන්න නෙළාගත් භූමි ප්‍රමාණය 2017 දී හෙක්ටයාර 555000 කි. එම භූමි ප්‍රමාණය 2018 වසරේදී හෙක්ටයාර 885000 දක්වා වැඩි විය. කුඹුරු හෙක්ටයාරයකින් ලද සාමාන්‍ය අස්වැන්න 2017 දී කිලෝග්‍රෑම් 4297 ක් වුවත්, 2018 දී ලද සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 4443 කි. මීට පෙර හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 4528 ක වාර්තාගත අස්වැන්නක් ලබාගත්තේ 2010 දීය.
එසේම 2018 වසරේ සහල් ආනයනය මෙ. ටොන් 249000 දක්වා අඩුවිය. මීට පෙර 2017 වසරේ සහල් ආනයනය මෙ. ටොන් 748000 කි. වී වගාව සඳහා දුන් ණය ප්‍රමාණය 2017 වසරේදී රුපියල් දසලක්ෂ 5562 ක් වූ අතර 2018 දී ගොවීන් විසින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් දසලක්ෂ 6878 කි.
පොල්
පොල් නිෂ්පාදනයේ දක්නට ලැබුණු විශේෂ කරුණක් වූයේ 2017 දී ගෙඩි දසලක්ෂ 2450 ක් වූ පොල් නිෂ්පාදනය ගෙඩි දසලක්ෂ 2623 දක්වා ඉහළ යෑමයි. පොල් ගෙඩියක් සඳහා වන නිෂ්පාදන වියදම රුපියල් 16 ශත 69 සිට රුපියල් 18 ශත 84 දක්වා ඉහළ ගියේය. එහෙත් නැවත වගා සහ යටි වගා බිම් ප්‍රමාණය පහත වැටී තිබේ. අපනයනයේදී අමුපොල් ගෙඩියක මිල රුපියල් 62.03 සිට රුපියල් 68.29 දක්වා ඉහළ ගොස් ඇත.
එළවළු
එළවළු
ඇතැම් ප්‍රදේශවල වගා හානි සිදුවුවද 2018 වසරේ එළවළු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දසලක්ෂ 1.7 දක්වා වැඩි විය. එය සියයට 13.3 ක වර්ධනයකි. 2017/18 මහ එළවළු අස්වැන්න සියයට 20.6 කින් ද, යල අස්වැන්න සියයට 4.6 කින් ද වැඩි විය. 2018 දෙවැනි කාර්තුවේදී ඇතැම් ප්‍රදේශයන්ගෙන් වගා හානි සහ පශ්චාත් අස්වනු හානි වාර්තා විය. සැපයුම අධික වීම නිසා ඇතැම් අවස්ථාවල එළවළු මිල පහත වැටුණි.
පලතුරු වගාව
පලතුරු නිෂ්පාදනය 2018 වසරේදී සියයට 28.8 කින් ඉහළ ගියේය. පලතුරු කිලෝග්‍රෑම් දසලක්ෂ 37.3 ක් අපනයන කර රුපියල් බිලියන 6.3 උපයාගත් අතර ඇපල්, මැන්ඩරින්, දොඩම් සහ මිදි කිලෝග්‍රෑම් දසලක්ෂ 78.7 ක් ආනයනය කරන ලදී. එම ආනයනයේ වටිනාකම රුපියල් බිලියන 14.2 කි. හෙක්ටයාර 1,50,000 ක පමණ භූමි ප්‍රමාණයක් පලතුරු වගාවට යටව ඇත. උසස් අස්වැන්නක් ලබාගැනීම සඳහා මේ අංශය දියුණු කිරීමේ වැදගත්කම ද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අවධාරණය කරයි.
උක්
උක් වගාවේ ක්‍රියාකාරීත්වයෙහි ප්‍රගතියක් පෙන්වා නැත. 2018 දී උක්දඬු මෙට්‍රික් ටොන් 720259 ක් අඹරා ගැනීම සිදුවිය. එහෙත් 2017 උක්දඬු මෙට්‍රික් ටොන් 746607 ක් අඹරාගෙන තිබුණි. සෙවණගල සීනි නිෂ්පාදනය 2018 වසරේ මෙට්‍රික් ටොන් 14709 ක් වුවත්, 2017 නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 15198 කි. අහස් දිය පදනම් කරගත් උක් වගා සහිත පැල්වත්ත කම්හල මෙට්‍රික් ටොන් 28061 ක් සහිතව සියයට 1.5 ක නිෂ්පාදන ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. ගල්ඔය හිඟුරාණ කම්හල නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 8495 කි.
උක් වගාවේ ක්‍රියාකාරීත්වයෙහි ප්‍රගතියක් පෙන්වා නැත. 2018 දී උක්දඬු මෙට්‍රික් ටොන් 720259 ක් අඹරා ගැනීම සිදුවිය. එහෙත් 2017 උක්දඬු මෙට්‍රික් ටොන් 746607 ක් අඹරාගෙන තිබුණි. සෙවණගල සීනි නිෂ්පාදනය 2018 වසරේ මෙට්‍රික් ටොන් 14709 ක් වුවත්, 2017 නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 15198 කි. අහස් දිය පදනම් කරගත් උක් වගා සහිත පැල්වත්ත කම්හල මෙට්‍රික් ටොන් 28061 ක් සහිතව සියයට 1.5 ක නිෂ්පාදන ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. ගල්ඔය හිඟුරාණ කම්හල නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 8495 කි.
සීනි
සීනි ආනයනය 2018 වසරේදී මෙට්‍රික් ටොන් 644675 කි. 2017 ආනයනය වූ සීනි මෙට්‍රික් ටොන් 497952 ට සාපේක්ෂව මෙය සියයට 29.5 ක ඉහළ යෑමකි. 2017 දී රටේ අවශ්‍යතාවෙන් සියයට 10 ක් සපුරාලීමට දේශීය නිෂ්පාදනය දායක වුවත් 2018 දී එය සියයට 9 ක් දක්වා අඩුය.
සීනි ආනයනය 2018 වසරේදී මෙට්‍රික් ටොන් 644675 කි. 2017 ආනයනය වූ සීනි මෙට්‍රික් ටොන් 497952 ට සාපේක්ෂව මෙය සියයට 29.5 ක ඉහළ යෑමකි. 2017 දී රටේ අවශ්‍යතාවෙන් සියයට 10 ක් සපුරාලීමට දේශීය නිෂ්පාදනය දායක වුවත් 2018 දී එය සියයට 9 ක් දක්වා අඩුය.
පශු සම්පත්
පශු සම්පත් අංශය 2018 වසරේදී සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කර ඇත. දේශීය කිරි නිෂ්පාදනය 2017 දී ලීටර් දසලක්ෂ 396.2 ක් වුවත්, 2018 දී එම නිෂ්පාදනය සියයට 19.0 ක වර්ධනයක් පෙන්නුම් කරමින් ලීටර් දසලක්ෂ 471.6 දක්වා වර්ධනය වී ඇත. ජාතික පශු සම්පත් මණ්ඩලයේ නිෂ්පාදනය 2018 වසරේදී කිරි ලීටර් දසලක්ෂ 14.7 කි. 2017 එහි නිෂ්පාදනය ලීටර් දසලක්ෂ 15.0 කි. කිරි එළදෙනුන්ගේ සංඛ්‍යාව සියයට 11.2 කින් ද, මී එළදෙනුන්ගේ සංඛ්‍යාව සියයට 8.9 කින් ද වැඩි වී තිබේ.
කිරි නිෂ්පාදනය වැඩි වුවද, අදාළ 2018 වසරේ කිරි පිටි මෙට්‍රික් ටොන් 99028 ක් ආනයනය සඳහා රුපියල් බිලියන 50.3 ක් වැයකර ඇත. රටේ දේශීය නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවයෙන් සියයට 45 ක් යැයි පවසන මහ බැංකු වාර්තාව දේශීය කිරි නිෂ්පාදනය තව තවත් ඉහළ නැංවීමේ වැදගත්කම අවධාරණය කරයි.
බිත්තර නිෂ්පාදනය සියයට 4.9 කින් අඩු විය. එහෙත් කුකුල් මස් නිෂ්පාදනය සියයට 2.4 කින් වැඩි වීම නිසා 2018 දී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 205820 දක්වා වර්ධනය විය. 2017 නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 200980 කි.
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර රාශියක් ද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. අස්වනු හානි අවමය, නිසි ගබඩා පහසුව, ආනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන අංශ කීපයකි. රුපියල් දසලක්ෂ 400 ක් වැය කරමින් නව තාක්ෂණික මෙහෙයුම් සහිත ගබඩා සංකීර්ණ කටුනායක, ඇඹිලිපිටිය, යාපනය සහ කැප්පෙටිපොළ යන නගරයන්හි ස්ථාපිත කිරීම දැන් ක්‍රියාත්මකය. දිස්ත්‍රික්ක 5 ක කෘෂිකර්මාන්ත නවීකරණය කිරීම සඳහා රුපියල් දසලක්ෂ 250 ක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව තවදුරටත් පවසයි.

Comments
Post a Comment