35 සැබෑවක් වීමට නම්


                '35'සැබෑවක්‌ වීමට නම්...

ලබන වසරේ සිට පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කළ යුත්තේ සිසුන් 35 දෙනකු පමණක්‌ බවට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණ. මේ අතර අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පවසා තිබුණේ අලුතින් පාසල් 25 ක්‌ ආරම්භ කරන බවයි.



මෙසේ අලුතින් පාසල් 25 ක්‌ ඇරඹීමට ඇමැතිතුමා අදහස්‌ කර ඇත්තේ දැනට රටේ ඇති පාසල් ප්‍රමාණය රටේ සිටින ශිෂ්‍ය ප්‍රමාණය සඳහා ප්‍රමාණවත් නැති නිසාද? පළමු ශ්‍රේණියේ පංතියක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 35 දක්‌වා අඩු කළ විට ඉතිරි වන සිසුන්ට පහසුකම් ලබා දීමටද යන්න පැහැදිලි නැත.

දැනට රටේ පාසල් දහ දාහකට ආසන්න ප්‍රමාණයක්‌ තිබුණද ඉන් වැඩි ප්‍රමාණයක ශිෂ්‍ය සංඛ්‍යාව 50 ට අඩු හෝ 100 ට අඩු ඒවාය. එලෙස අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ සිටින පාසල්වලට තවදුරටත් සිසුන් ඇතුළත් කිරීමට පහසුකම් ඕනෑවටත් වටත් වඩා තිබේ. එසේ නම් කළ යුත්තේ අලුතින් තවත් පාසල් ඇති කිරීමද තිබෙන පාසල් වැඩි දියුණු කර ඒවාට තවදුරටත් සිසුන් ඇතුළත් කිරීමට කටයුතු කිරීමද යන්න සිතා බැලිය යුතු කරුණකි.

සිසුන් අඩුවීම නිසා වැසී යැමට ආසන්නව ඇති පාසල්වල තිබෙන භෞතික සම්පත් සහ ගුරු මණ්‌ඩලය තවත් විශාල පිරිසකට ඉගෙන ගැනීමට පහසුකම් ලබාදීමට හොඳටම ප්‍රමාණවත්ය. කළ යුත්තේ මෙම පාසල්වලින් ගිලිහී ගොස්‌ ඇති දෙමාපිය පිළිගැනීම නැවත ලබාදීම පමණි.

ජනප්‍රිය පාසල් සංස්‌කෘතිය හා නගරබද පාසල් කෙරේ සියලු සිසුන් ඇතුළත් කිරීමට දෙමාපියන් උත්සාහ කිරීම සහ ගම්බද පාසල් විශාල ප්‍රමාණයක්‌ අද පාළුවට යමින් පවතී. කලක්‌ ගමේ දරුවන්ට හොඳින් සිප්සතර ලබා දුන් ගමේ පාසලට මේ අභාග්‍ය සම්පන්න ඉරණම අත් වූයේ ඇයි දැයි මෙතෙක්‌ සොයා බැලූ කෙනෙක්‌ නැත. කරුණු එසේ තිබියදී තවදුරටත් අලුතින් පාසල් ආරම්භ කිරීම නිසා යම්තරමකින් හෝ පවත්වාගෙන යන ගම්බද ඉතිරි පාසල් ටිකද වැසී යාමේ අවදානමක්‌ මතු විය හැකිය.

වර්තමාන තත්ත්වය මතද පාසලක පළමු ශ්‍රේණියට ඇතුළත් කළ හැක්‌කේ සිසුන් 42 දෙනකු පමණකි. නීතිය එසේ වුවත් නගරබද ජනප්‍රිය පාසලක්‌ පරීක්‍ෂා කළහොත් එක්‌ පංතියක සිසුන් 50 ක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ සිටින බව සොයාගත හැකිය. මෙසේ වීමට හේතුව කලින් කලට පනවන නීති හරිහැටි ක්‍රියාත්මක නොවීමයි.

සමහර පාසල්වල පළමු ශ්‍රේණිය පටන් ගන්නා විට ඇතුළත් කර ගන්නේ සිසුන් 42 පමණි. නමුත් කල් ගත වන විට වරින් වර සිසුන් ඇතුළත් කිරීම නිසා පංතියක සිටින සිසුන් ගණන 50 ටත් වැඩි ප්‍රමාණයක්‌ වෙයි. මෙය සමහර විට පළමු ශ්‍රේණියේදී නොවන අතර 2, 3, 4 ශ්‍රේණිවලදී සිසුන් ඇතුළත් කර ගැනීම නිසා පංතියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා වැඩි සිසුන් පිරිසක්‌ පංතිවල සිටිති.

මේ අනුව බලන විට 35 නීතියටත් 42 නීතියට සිදු වූ දෙයම නෙවේදැයි කිව හැක්‌කේ කාටද?

5
ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා නොමිලයේ පවත්වන උපකාරක සම්මන්ත්‍රණයක්‌ පිළිබඳ සිසුන් දැනුවත් කිරීමට මෙම ලියුම්කරුට පසුගිය දිනක නගරයේ පිහිටි ජනප්‍රිය පාසල් දෙකකට යැමට අවස්‌ථාව හිමි විය. පිරිමි සහ ගැහැනු පාසල් දෙකක්‌ වූ ඒවායේ 5 ශ්‍රේණියේ එක්‌ පංතියක සිසුන් 55 බැගින් විය. එවැනි පංති හය සහ හත බැගින් පාසල් දෙකේ සමාන්තර පංති තිබිණි.

ජනප්‍රිය පාසල්වල තත්ත්වය එසේ වුවද රටේ සෙසු සාමාන්‍ය පාසල් විශාල ප්‍රමාණයක තත්ත්වය එසේ නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පරීක්‍ෂා කළ විට දැකගත හැකිය. ජනප්‍රිය නොවන සෙසු පාසල්වල එක්‌ පංතියක සිසුන් දහයටත් අඩු සංඛ්‍යාවක්‌ සිටින බව පෙනේ. මේ අතර පළමු ශ්‍රේණියට එක්‌ සිසුවෙක්‌වත් භාර නොදෙන පාසල් සහ භාර දෙන සිසුන් සංඛ්‍යාව 2, 3 ක්‌ පමණ වන පාසල් ද විශාල ප්‍රමාණයක්‌ රටේ පවතී.

වත්මන් තත්ත්වය මත රටේ පාසල් කැපී පෙනෙන අන්ත දෙකක පවතී. එනම් ශිෂ්‍ය සංඛ්‍යාව පිරී ඉතිරී යන පාසලක්‌ සහ සිසුන් නොමැති නිසා දවසින් දවස වැසීයැමට ආසන්න වෙමින් පවතින පාසල් ලෙසය.

රටපුරා විශාල පාසල් ප්‍රමාණයක ගොඩනැඟිලි ඇතුළු භෞතික සම්පත් සහ ගුරුවරු සිටියද සිසුන් නොමැතිව වැසී යමින් පවතින නිසා මෙම භෞතික සම්පත් සහ ගුරුවරුන්ගේ රටට ප්‍රයෝජනයක්‌ නොවන බව පෙනේ. මේ නිසා අලුතින් තවත් පාසල් ඇති කිරීමට පෙර මෙසේ වැසී යන පාසල්වල භෞතික සම්පත් සහ ගුරුවරුන්ගෙන් ප්‍රයෝජනයක්‌ ගැනීම සඳහා යම් වැඩපිළිවෙළක්‌ දියත් කිරීම කාලෝචිත බව පෙනේ.

පසුගිය රජය සමයේ මෙම ගැටලුවට විසඳුමක්‌ ලෙස දිවයින පුරා ද්විතීයික පාසල් 1000 ක්‌ සංවර්ධනය කිරීමට හා පෝෂිත පාසල් 5000 ක්‌ ඇති කිරීමේ වැඩ සටහනක්‌ දියත් කෙරිණි. එක්‌ ද්විතීයික පාසල් සඳහා පෝෂිත පාසල් ලෙස ප්‍රාථමික පාසල් පහක්‌ සම්බන්ධ කරන ලද අතර ප්‍රාථමික පාසල් ලෙස තෝරා ගත් පාසල්වල තිබූ 6 ශ්‍රේණියේ ඉහළ පංති ඉවත් කිරීමද සිදු කරන ලදී.

ද්විතීයික පාසල් වැඩසටහනත් සමග ප්‍රාථමික පාසල්වල සමාන්තර පංති සංඛ්‍යාව දෙක දක්‌වා අඩු කරන බවද පවසා තිබිණ. එලෙස සමාන්තර පංති තුන හතර හෝ ඊටත් වැඩියෙන් ඇති ප්‍රාථමික පාසල්වලින් සමාන්තර පංති ගණන දෙක දක්‌වා අඩු කළේ නම් එම සිසුන්, සිසුන්, අඩු ප්‍රාථමික පාසල්වලට ඇතුළත් කිරීමට දෙමාපියන්ට සිදුවේ. එවිට වැසී යමින් පවතින ගම්බද කුඩා පාසල්වලටද ප්‍රමාණවත් සිසු පිරිසක්‌ හිමිවන බැවින් ඒවා දියුණු වීමටද ඉඩ කඩ තිබිණි. මේ නිසා එවැනි වැසී යාමේ අවදානමට ලක්‌ව ඇති පාසල්වල භෞතික සම්පත් සහ ගුරුවරුද ප්‍රයෝජනයට ගැනීමට හැකියාව තිබිණි.

2012
වසරේ සිට ක්‍රියාත්මක කරන බව පැවැසූ මෙම ක්‍රියාවලිය තවමත් ක්‍රියාත්මක නොවීම නිසා පෝෂිත පාසල් වැඩි ප්‍රමාණයක එක්‌ පංතියක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව තවදුරටත් අඩුවන්නට විය. කාර්යක්‍ෂම පරිපාලනයේ දක්‍ෂ විදුහල්පතිවරයකු සිටින පාසලක දෙකක හැර සමස්‌ත පෝෂිත පාසල්වලට අත් වූයේ මෙම කනගාටුදායක ඉරණමය.

මේ නිසා අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාගේ පළමු ශ්‍රේණියට ඇතුළත් කළ යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 ට සීමා කිරීමේ ආශීර්වාදය ලබාගෙන වැසී යමින් පවතින ගම්බද පාසල්වලට ජීවය ලබාදීමට හැකිය. එසේ කිරීමට නම් අලුතින් පාසල් පිහිටුවීම යුතු නොවේ. කළ යුත්තේ වැසීයාමට ආසන්න වෙමින් පවතින පාසල්වලට දෙමාපිය ආකර්ෂණය ඇති කිරීමේ නව වැඩපිළිවෙළක්‌ දියත් කිරීමයි.

ඒ සඳහා කළ යුතු පළමු කාර්යය වන්නේ වැසී යමින් පවතින පාසල් සඳහා පරිපාලනයේ දක්‍ෂ කාර්යක්‍ෂම විදුහල්පතිවරු පත් කිරීම. ඊට හේතුව වැසී යමින් පවතින යම් පාසලක්‌ යළි දියුණු වූයේ නම් ඒ දක්‍ෂ කාර්යක්‍ෂම විදුහල්පතිවරයකු පත් කිරීමෙන් පසුව බව මෙම ලියුම්කරු නිරීක්‍ෂණයක්‌ කර ඇති බැවිනි.

රට පුරා වැසී යන පාසල්වලට ජීවයක්‌ ලබාදී ඒවා නඟාසිටුවීමට හැකි වුවහොත් හිටපු අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණ මහතා මෙන් නව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාද හැමදා ජනතා මතකයේ ජීවත් වන අධ්‍යාපන ඇමැතිවරයකු බවට පත්වනු ඇත. නව ගුරු සේවා ව්‍යස්‌ථාව ස්‌ථාපිත කොට පාසල් ගුරුවරුන් දෙපයින් නැගිටවීම් කටයුතු කරනු ලැබුයේ රිචඩ් පතිරණ මහතා බැවින් එතුමා ජනතාව අතර සදාකාලික මතකයේ සිටින අධ්‍යාපන ඇමැතිවරයකු බවට පත්ව තිබේ.

දිවයින පුරා පාසල් විශාල ප්‍රමාණයක්‌ වැසී යමින් පවතින නිසා සහ සිසුන් ඉතාමත් අඩු සංඛ්‍යාවක්‌ දක්‌වා අඩු වීම නිසා පාසල් විශාල ප්‍රමාණයක සම්පත් නාස්‌තියක්‌ සිදුවෙමින් පවතින බව දක්‌නට තිබේ. ඒ නිසා මෙම නාස්‌තිවන මහජන මුදල් ප්‍රයෝජනයට ගත හැකි සේ පරිහානියට පත්වෙමින් පවතින පාසල් දියුණු කිරීමේ නව ක්‍රමයක්‌ දියත් කළ හැකි නම් එය රටටද ආශීර්වාදයකි.

පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ශිෂ්‍ය සංඛ්‍යාව 35 ට සීමා කළද ඉන් ඉහළ ශ්‍රේණිවල ශිෂ්‍ය සංඛ්‍යාව 35 සීමාවේ තබා නොගැනීමට පාසල් ප්‍රධානීන් කටයුතු කරන්නට ඉඩ ඇත. ඒ නිසා එක්‌ පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 35 සීමාව 1 ශ්‍රේණිය සිට ඉහළට හැම පංතියකට ක්‍රියාත්මක කළ යුතු බව පෙනේ.

සමහර විට පංතියක සිසුන් ගණන 35 දක්‌වා සීමා කරන විට ජනප්‍රිය පාසල්වල සමාන්තර පංති ගණන වැඩිකිරීම් යෝජනා ඉදිරිපත් වීමට ඉඩ කඩ තිබේ. එවැනි ඉල්ලීම් සඳහා ඉඩ ලබා දුනහොත් නව වැඩසටහන මගින් වැසී යාමේ අවදානම ඇති පාසල්වලට අත්වීමට ඉඩ ඇති වාසිය නොලැබී යනු ඇත. අධ්‍යාපන ඇමැති තුමාගේ නව වැඩසටහන ක්‍රියාත්මක කළහොත් දෙමාපියන්ට තම දරුවන් ගම්බද පාසල්වලට ඇතුළත් කිරීමට සිදු වේ. එමගින් ගම්බද පාසල් පද්ධතියද දියුණු වීමෙන් ඉඩ ප්‍රස්‌ථා ඇති වන බව පැහැදිලිය.

මෙම එක්‌ පංතියක සිසුන් 35 සීමාව ක්‍රියාත්මක කරන අතරම ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමට නොහැකි වන දරුවන් ගම්බද පාසල් කරා ඇතුළත් කිරීමට දෙමාපියන් පෙලඹවීම සඳහා ගම්බද පාසල් ආකර්ෂණය ලෙස දියුණු කළ යුතුය.

ඒ සඳහා ජනප්‍රිය පාසල්වල සේවය කරන විදුහල්පතිවරු ගුරුවරුන් ප්‍රතිපත්තියක්‌ මත සාධාරණව ගම්බද පාසල්වලටත් පත් කළ හැකිය. සාධාරණ ගුරු මාරු ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කිරීම තුළින් මෙම වැඩපිළිවෙළ දියත් කළ හැකි නම් රටේ ජනතාව තුළ ගම්බද පාසල් පිළිබඳවද විශ්වාසයක්‌ සහ පිළිගැනීමක්‌ ඇති වනු ඇත. මෙසේ වැසී යන අවදානමට ලක්‌ව ඇති ග්‍රාමීය පාසල් පද්ධතිය නඟාසිටුවීමට හැකි නම් පාසල් සිසුන් ප්‍රවාහනය, මාර්ග තදබදය දෙමාපියන්ගේ කාලය නාස්‌තිවීම පවුල් ආරවුල් දක්‌වා වූ විවිධාකාර ප්‍රශ්නවලටද සාර්ථක විසඳුම් ලැබේ. මෙසේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විප්ලවීය වෙනසක්‌ කළ හැකි නම් නව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඉතිහාස ගත ඇමැතිවරයකු බවට පත්වනු ඇත.

Comments

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු